පීපල්ස් ලීසිං සමාගම, සමානාත්මතාවය තේමා කර ගනිමින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි


පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන  සමාගමක් ලෙස හඳුන්වා දිය හැකිය. කාන්තාවන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා සහයෝගය ලබා දීම වෙනුවෙන් විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන පීපල්ස් ලීසිං සමාගම, සිය ආයතනික ජ්‍යේෂ්ඨ කළමනාකාරිත්වය තුළ ද කාන්තා වෘත්තිකයින්ට ඉදිරියට යාමට හැකි සේවා පරිසරයක් නිර්මාණය කර ඇත. එමෙන් ම සිය #InspireInclusion වැඩසටහන හරහා සමාගමේ සේවය කරන විවිධ සේවා තලයන්හි කාන්තාවන් සවි බල ගැන්වීමට පීපල්ස් ලීසිං සමාගම කටයුතු කරයි.

වෘත්තීයමය ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර සමතුලිතතාව ගොඩනඟා ගැනීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන පීපල්ස් ලීසිං සමාගම, එහි දී කාන්තාවන්ට මුහුණ දීමට සිදු වන අභියෝග ජය ගැනීම සඳහා  ද විවිධ වූ සහය සේවා ක්‍රියාත්මක කරයි.  එමෙන් ම සිය සේවක සේවිකාවන් සඳහා පහසු මෙන් ම නම්‍යශීලී වැඩ පරිසරයක් නිර්මාණය කර ඇති පීපල්ස් ලීසිං සමාගම විශේෂයෙන් කාන්තාවන්ට දියුණු විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වී සිටී.

කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් පීපල්ස් ලීසිං සමාගමේ කැප වීම පිළිබඳ ව අදහස් දක්වමින්, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශමීන්ද්‍ර මර්සලීන් මහතා පැවසුවේ, “ සෑම මොහොතක ම, අපගේ සෑම තීරණයක් සමඟ ම, විවිධත්වය සහ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා.  ස්ත්‍රී පුරුෂ භේදයකින් තොර ව සෑම කෙනෙකුට ම සමාන අවස්ථා ලබා දීම හරහා සියලු ම පුද්ගලයින්ට සාර්ථක වීමට හැකි ආයතනික පරිසරයක් ගොඩ නැංවීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා. ඒ වගේ ම සාර්ථකත්වය වෙනුවෙන් වන අපගේ ගමන්මගේ දී කාන්තාවන් යනු අත්‍යවශ්‍ය ම කණ්ඩායමක් බව පීපල්ස් ලීසිං සමාගම විශ්වාස කරනවා. එම නිසා ම 2024 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින්, ශ්‍රී ලංකාවේ මෙන් ම ලොව පුරා වෙසෙන සියලු ම කාන්තාවන් සඳහා සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීමට පීපල්ස් ලීසිං සමාගම මූලිකත්වය ලබා දුන්නා. සෑම කාන්තාවකට ම තම උපරිම හැකියාවන් අවබෝධ කර ගනිමින්, සාර්ථකත්වයට පත් විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සමානාත්මතාව සහතික කිරීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා. ” යනුවෙනි.

2024 වසරේ ජාත්‍යන්තර කාන්තා දින තේමාවට සමගාමී ව පීපල්ස් ලීසිං සමාගම ක්‍රියාත්මක කළ #InspireInclusion  විශේෂ වැඩසටහන් මාලාව හරහා සිය ආයතනික පරිසරය තුළ සේවය කරන කාන්තාවන්ගේ සෞඛ්‍යමය දැනුම වර්ධනය කිරීමට කටයුතු කෙරුණු අතර, වෘත්තීයමය වශයෙන් ඔවුන් බල ගැන්වීම වෙනුවෙන් ද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක විය. මෙම සුවිශේෂී වැඩසටහන් හරහා කාන්තාවන් සවි බල ගැන්වීමට මෙන් ම සේවා ස්ථානය තුළ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීමට පීපල්ස් ලීසිං සමාගමේ  කැප වීම පිළිබඳ උදාහරණ සපයයි.