ඩිජිටල් අවකාශයේ විප්ලවීය වෙනසකට මුලපුරමින් PLC සමාගම eDoc සහ eReceipt එළිදක්වයි


ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් ඔවුන්ගේ ඩිජිටල් යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා PLC eDoc සහ PLC eReceipt යන සේවා ඩිජිටල් අවකාශයට මුදා හැරීම පසුගියදා සිදුවිය. මෙම පද්ධති හදුන්වා දීම PLC සමාගම තැබූ තවත් ඉදිරි පියවරක් සනිටුහන් කිරීමක් ලෙස පෙන්වා දිය හැකි අතර ම මෙමගින් තිරසාරභාවය සඳහා වූ කැපවීම,   පාරිභෝගික පහසුව ඉහළ නැංවීම සහ කාබන් පියසටහන් අඩු කිරීම යන ඔවුන්ගේ මූලික ඉලක්ක සමඟ ද සමපාත වේ.

eDoc සහ eReceipt යන සේවා නිර්මාණය කර සංවර්ධනය කිරීමට PLC සමාගමේ දේශීය මෘදුකාංග සංවර්ධන කණ්ඩායමක් යොදා ගැනීම මගින් තාක්ෂණික නවෝත්පාදනයන් සහ ඩිජිටල් සක්‍රීය කිරීම් (Digital enablement) සඳහා PLC සමාගම සිදුකරන කැපවීම මෙමගින් පෙන්නුම් කරයි.

PLC eDoc යනු සමාගමේ මෙහෙයුම් විධිමත් කිරීමට සහ කඩදාසි පරිභෝජනය අවම කිරීමේ අරමුණින් දියත් කරන ලද්දක් වන අතර මෙමගින් පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරයට සියලුම විද්‍යුත් ලේඛනවලට බාධාවකින් තොරව ප්‍රවේශ වීමට සහ කළමනාකරණයට හැකියාව ලබා දෙයි.  PLC eDoc සාම්ප්‍රදායික රිසිට්පත්වල සිට SMS සහ පාරිභෝගික ලිපි හුවමාරු සේවා දක්වා වූ විවිධ ලේඛන වර්ග පරිශීලක-හිතකාමී වේදිකාවක් මතට ඒකාබද්ධ කිරීම සිදුකරයි.

PLC eDoc ඩිජිටල් වේදිකාවට අමතරව හදුන්වා දුන්, PLC eReceipts ඔස්සේ පාරිභෝගිකයින්ට සාම්ප්‍රදායිකව නිකුත් කරන කඩදාසි රිසිට්පත් වෙනුවට ඊ රිසිට්පත් නිකුත් කිරීම සිදුකරයි. PLC eReceipts මගින් කෙටි පණිවිඩ සහ වෙබ් URL හරහා සිදුකරන ගනුදෙනු තොරතුරු වෙත ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට ක්ෂණික ප්‍රවේශයක් ලබාගත හැකිය. මෙමගින් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ඩිජිටල් රිසිට්පත් පහසුවෙන් බාගත කර බෙදාහදා ගත හැකි අතර, ඒ ඔස්සේ භෞතික පිටපත් සඳහා ඇති අවශ්‍යතාවය සහ කඩදාසි නාස්තිය අවම කිරීම සිදුවේ.

eDoc සහ eReceipts හඳුන්වාදීම පිළිබඳ ව අදහස් දැක්වූ PLC හි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (තොරතුරු තාක්ෂණ) ප්‍රභාත් ගුණසේන මහතා පැවසූවේ; මෙම හඳුන්වාදීම තිරසර සහ හරිත අනාගතයක් වෙනුවෙන් වන අප සමාගමේ කැපවීම පෙන්නුම් කිරීමක් වන අතර පරිසර හිතකාමී භාවිතයන් ප්‍රවර්ධනයත්, බාධාවකින් තොර පාරිභෝගික අත්දැකීමක් ලබා දීමත් මෙමගින් බලාපොරොත්තු වන බවයි.

PLC සමාගම කඩදාසි රහිත මෙහෙයුම් ප්‍රවර්ධනය කිරීම සහ ලියකියවිලි ඩිජිටල්කරණය කිරීම මගින් පාරිභෝගිකයින්ට කාර්යක්ෂම ඩිජිටල් විසඳුම් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ලීසිං සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විය යුතු ඩිජිටල් පරිවර්තනය මෙහෙයවීම සහ එයට නායකත්වය ලබාදීම සිදුකරයි.